Wednesday, December 31, 2014

නූතන වහල් භාවය හෙවත් මෑන්පවර් ප්‍රෝඩාව





වහල් සේවය ගැන ඔබ දැනුවත්ද? කකුල් දෙකට දම්වැල් දමා කසපහර දී වැඩගත් වහල් සංස්කෘතිය දැන් අභාවයට ගොස් ඇත...ගෙවී යන ගිගාබයිට් යුගයේ වහල් සේවයට අලුත් නමක් ලැබී ඇත..ඒ මෑන්පවර් යන නමයි...

පසුගිය දින වල ඔබ ඇසු විරෝධතා වලින් තම ඉල්ලීම් ඉටු කරගැනීමට හැකිවුයේ විදුලිබල මණ්ඩල සේවකයන්ට පමණි..ටෙලිකොම් මෑන්පවර් සේවකයන් මෙය ලියන අවස්ථාවේදීත් විරෝධතාවයකය..




ඔබේ නිව‍සට පැමිණ ඔබේ ස්ථාවර දුරකතනයේ,ඔබේ අන්තර්ජාල සබදතාවයේ දෝෂ නිරාකරනය අය, පාරේ වලවල් වල බැස, කණුවල නැගගෙන නඩත්තු කටයුතු කරන අය මෙන්ම ඔබ අප දැක නැති, අසා නැති තිරය පිටුපස සිට සේවය සපයන මිනිසුන් රාශියකගේ මහන්සියේ ප්‍රතිඵලයක් ලෙස අද ඔබ නිවසේ සිට සැප පහසුවට අන්තර්ජාලය පරිහරණය කරයි..

ශ්‍රි ලංකා ටෙලිකොම් යනු දිවයිනේ ප්‍රධානතම සංනිවේදන ජාලය වේ. Voice,ADSL,Peotv ලෙස ඔබ අත්විදින සේවා රැසක් ඔබට ලැබෙන්නේ ඔවුන්ගේ ශ්‍රමය නිසා මිස ටයි දමා ලොකු පුටුවලට වී කැරකී කරකී සිට ලක්ෂ 20-30 බෝනස් ගන්නා අයගේ මහන්තත්ත බවෙන් නොවේ..

ටෙලිකොම් මෑන්පවර් ප්‍රෝඩාව අතිශ්‍ය අමානුෂිකය..ටෙලිකොම් ස්ථීර සේවකයෙකු ලබාගන්නා වැටුපට වඩා අඩු වැටුපක් ලබන මෑන්පවර් සේවකයා කරන රාජකාරියේ අඩුවක් කරන්නේ නැත...ඊට අමතරව තවත් දීමනා රැසක් මෑන් පවර් සේවකයාට අහිමිය..ඒවායින් නිකම් සිට වාසි ලබන්නේ අහසේ සිටින අයයි...මෑන්පවර් සේවකයාගේ අසරණ භාවය ගැන කදිම නිදසුනක් වන්නේ ඔහුට ණය මුදලක් පවා ලබා ගත නොහැකි කමයි..ස්ථීර පදනමක් නොවන රැකියාවේ සුරක්ෂිත භාවය කතා කිරීමට වචන නාස්ති කල යුතු නැත..

දේශපාලනයට, බලයට, මුදලට උපවාස කරන රටක තම දු දරුවන්ට සවිමත් හෙටක් උදෙසා පාරට බැස ඇති මෑන්පවර් සේවකයෝ දැන් අඛණ්ඩව දින තුනක් පුරාවම විරෝධතාවයක නියැලී සිටියි..29 දින සවස් වරුවේ පාගමනින් පසු‍ මේ මොහොත වන විටත් ඔවුන් ටෙලිකොම් මූලස්ථානය ඉදිරි පිටට වී තම අයිතීන් උදෙසා හඩ නගයි..ඔවුන් ඉල්ලන්නේ රටෙන් අඩක් නොව රැකියවේ ස්ථිර භාවය පමණි..තෘෂ්ණාවෙන් අන්ධ වී ඇති පාලනාධිකාරියෙන් සොරා ගන්නා ලද අයිතීන් වෙනුවෙන් ඔවුන් ඊයෙත් පාරේය.අදත් පාරේය..අලුත් අවුරුද්දෙත් එය එසේම වනු ඇත..







මෙය ලියන ලේඛකයා මෑන්පවර් සේවකයෙකු නොවනමුත් ඔවුන් සමග එකට එක බත්පතේ කෑ අයෙකු වෙමි.එබැවින් මෙය ද්වේෂ සහගත අරමුණේන් ලියන ලද්දක් නොව සහෝදර මිනිස් කැලකට සිදුවන අසාධාරණයට එරෙහිව මුදල් බලයෙන් වසන් කරන තිත්ත ඇත්ත රචනය කරන ලද්දක් පමණක් වේ...

හෘද සාක්ෂියක් සහිත මිනිසුන් තවමත් වෙසෙන රටක මොවුන්ට තවදුරටත් පාරේ දුක්විදීමට ඉඩ නොතබා ඉල්ලීම් ඉටු වේවායි ලේඛකයා ඉත සිතින් ප්‍රාර්ථනය කරයි..

                ටෙලිකොම් මෑන්පවර් වහල් සේවයට එරෙහිව ගෙන යන                                                        සටනට ජය වේවා!!



Thursday, December 18, 2014

සංගා ඔබට ස්තූතියි!




පෙරේදා(16) ලංකා ක්‍රිකට් ඉතිහා‍සයේ පතාක යෝධයෝ දෙදෙනෙක් සමුගත්තේය..
ඒ සංගා මහේල ලංකාවේ සෙල්ලම් කරපු අන්තිම මැච් එකෙනි..



රූපේ ක්‍රිකට් මැච් බලන් කාලේ වෙද්දි සනා හිටියේ බහින දසාවේය..සනා ගහනවාට වඩා LBW වලින් අවුට් වුනේය..

සනා අවුට් වුනොත් මැච් එක ඉවරයි කියලා තිබ්බ මතය වෙනස් කලේ මහේලලා සංගලා..සනා නැතුවට අපිට වර්ල්ඩ් කප්  දිනන්ඩ පුලුවන් කියලා පෙන්නුවේ සංගා..ඒ T20 වර්ල්ඩ් කප් එක ගහලා...

මහේලත් හොදට සෙල්ලම් කලත් රූපේ හැමදාම චියර් කලේ සංගාට..ඒ සංගා මුළු ටීම් එකත් එකක්ම සෙල්ලම් කරපු නිසා...

ක්‍රිකට් වලින් පස්සේ සංගා ගෙදරට වෙලා හිටියම ඇතිය..සංගා මහේල වැනි ක්‍රිඩකයෝ කවදාවත් දේශපාලනය කර නම්බුව නැති කර ගත යුතු නැත...අන්තිම මැච් එක බලන්ඩ ග්‍රවුන්ඩ් එක පිරෙන්ඩ සෙනග ආවේ බත් පැකට් එකකටවත් බෝතලයකටවත් නොව හිතේ තියෙන ගෞරවයටයි..සනා වගේ ඒක නැතිකරගත යුතු නැත..

විකට් එක පිටිපස්සේ ඉදලා කෑගහලා ටීම් එක මොරාල් කරන සංගා හැමදාම ගැහුවේ සුපිරි කවර් ඩ්‍රයිව් එකක්..සංගා මහේල එකතු වෙලා අන්තිම විකට් එක අරන් මැච් එකට සුපිරි එන්ඩින් එකක් දුන්නේය..වැඩ්ඩෝ එහෙමය..

















Photo Credits-Lakmal Perera




Test,ODI,T20 මැච් වල ලකුණු වැඩියෙන් ගහලා වාර්ථා තිබ්බ සංගා ලංකාවට මාර නමක් අරන් දුන්නා.. මේ පාර වර්ල්ඩ් කප් එකත් අරගෙනම ගෙදර එන්ඩ අපි සංගාට සුබ පතනවා..



 සංගා ඔබට ස්තූතියි!

Monday, December 8, 2014

අයිතිය අමතක වෙන්ට....




   ගලක් වුනත් රිදෙනවා
   මගේ හිතත්
   අයිතියක් නැති 
   පිරිසිදු ඊරිසියාවට...
  
   දකින්න ඇහෙන්න
   හැමදාක ලග හිටින්
   දුකත් නැතිවෙයි
   අයිතිය අමතක වෙන්ට....
  
   ඉද හිට දවසක 
   බැනලා යන්ඩ
   වෙනදා වගේම නිකන්
   මතක් වෙවි මට....
   
   එකින් එක පාවෙන
   දවස ආවම 
   අරන් යන්න හිතත්
   හොරා ගත්ත ඈතකට... 

Wednesday, November 12, 2014

සීයා ගැන පත්තරේත් ගියා..


ඉරිදා සුප්පලාගේ ගෙදර බණක්. සුප්පලාගේ ආච්චි කාලක්‍රියා කරලා අවුරුද්දක් වෙන එක සැමරුවා.උදේ ආව මැසේජ් එක නිසා රූපෙත් හවස 7 ට විතර අතාත් එක්ක ගියේ හොදට කන්ඩ බලාගෙන..යනකොට හාමුදුරුවෝ බණ කියනවා..බෙහෝම බැතිබර ව එතනින් මාරු වෙලා ඈතට ගිහින් සුප්පාත් එක්ක කතාවක් දාගෙන හිටියේ අනික් උන් එනකම්....

අතාගේ සීයාව මතක් වුණේ ආයේ හොදට කන්ඩ හම්බු වෙන්නේ සීයාගේ දානේ දවසට කියලා සුප්පා කිව්ව ම..එතකොට අතා පට්ට කතාවක් කිව්වා..

අතා   - අඩෝ අපේ සීයා ගැන පත්තරේත් ගියා..
රූපේ - මරණ දැන්වීම නේද?
අතා   - නෑ බන් ඊට කලින්
සුප්පා - මැරෙන්ඩ ලගයි කියලාද?
අතා   - නෑ හු******* අවුරුදු 2ට විතර කලින්
රූපේ - ඒ මොකටද?
අතා  - අර බණ්ඩාරනායක සීන් එකට

අතා කිව්ව විදියට බණ්ඩාරනායක මහත්තයාට වෙඩි වැදිච්චි වෙලාවේ ඔපරේෂන් එකට ගෙනාපු තියටරේ හිටපු ඇටේන්ඩන් තමා අතාගේ සීයා..අවුරුදු 2ට කලින් පත්තරේකින් ඇවිත් තියෙනවා අතාගේ සීයා ව හම්බු වෙන්ඩ ලිපියකට කරුණු හොයන්ඩ...ඒ වෙනකොට එදා හිටපු අයගෙන් ජිවතුන් අතර ඉදලා තියෙන්නේ අතාගේ සීයා විතරයි...අතා කිව්වේ ඔය ගැනයි...

අතාගේ සීයා ඒ කාලේ පට්ට පොරක්ව සිට ඇත...ඇදුම එහෙ මෙහෙ වෙච්චි කෙල්ලෙක්ගේ රූපයක් අතේ පච්ච කොටාගෙනත් තිබී ඇත..අතාට අනුව 98ත් ලස්සනට කුණුහරුප කීමේ හැකියාව නැති වී නැත...

සීයා අවුට් වෙන්ඩ මාස ගාණකට කලින් ගෙදර ආපු යාළු‍‍වෙක් ට සීයා ව පෙන්න්ඩ අතා එක්කන් ගොස් ඇත...

අතා- සීයේ..මේ සීයාව බලන්ඩ පත්තරෙන් ඇවිත්...
සීයා- පත්තරේ බිකද?

Sunday, November 9, 2014

සුභ උපන්දිනයක් !!! :-D

2013 නොවැම්බර් මාසේ අද වගේ දවසක තමා රූපේ චක්කරේ කරකවන්ඩ පටන් ගත්තේ..අදට හරියට ම අවුරුද්දක් වෙනවා...ඒ කියන්නේ අද චක්කරේ පලවෙනි බර්ත් ඩේ එක...




රූපේ A/L ක්ලාස් යන කාලේඉදලා තමා බ්ලොග් කියවන්ඩ පටන් ගත්තේ..හරියටම මතක නැති වුනත් මතක විදියට නම් කියවපු පලවැනි බ්ලෝග් එක ළාහිරු දහසක් දිලී... ඒකෙන් පටන් ගත්ත බ්ලෝග් කියවිල්ල වැඩි වුණේ Iceගේ කොලම ගියාට පස්සේ..ඒ Ice ලියපු කතාවක් රූපේට අම්බානකට හිතට ඇල්ලුවට පස්සේ...ඒ තමයි මහිම මන්දහාසි..ඊට පස්සේ රූපේ කියෙව්වේ කතන්දර,ටෑබූ,මාතලන්,රාජ්,සෑම් ලියපු ඒවා...රූපේ අවුරුද්දක් විතර බ්ලෝග් කියවන්නේක් වෙලා හිටියා..

ඊට පස්සේ තමා රූපේටත් හිතුනේ බ්ලොග් ඒකක් පටන් ගන්ඩ ඕනේ කියලා...ඉතින් හැමෝම වගේ Template , Layout එක්ක පැය ගාණක් දගලපු පැය ගාණකට පස්සේ කොහොමහරි යන්තම් මට ඔයා පබ්ලිෂ් කරලා දෙවියනේ කියලා බ්ලෝග් එක පටන් ගත්තා..එදා ඉදලා පුළු පුළුවන්  විදියට අහපු දැකපු ඒවා ලිව්වා..හොද වගේම නරකත් අහගත්තා..අවුරුද්දක් තිස්සේ අාපු මේ ගමනට සැහෙන්ඩ අය උදවු කලා..මාතලන්ගෙන් පටන් ගත්තම අපූර්වී දක්වාම හිටියේ අත දෙන මිනිස්සු..මේ විදියට උදව් කරපු හැමෝටම ස්තූතියි..

අදට අවුරුද්දක් වුණු චක්කරේට Happy Birthday! කියන ගමන් රූපේ එක්ක තව දිගටම කැරකෙන්ඩ සුභ පතනවා...!!




Thursday, November 6, 2014

දේශපාලනය කියන්නේ ගූ ගොඩක් :-(



දේශපාලනය කියන්නේ රූපේ කතා කරන්ඩ අකැමැති ම සබ්ජෙක්ට් එකක්.ඒත් ඒ ගැන ලියලා අනිත් අයගේ අදහස් දැන ගන්ඩ හිතුනේ රූපේගේ යාළුවෙකුත් එක්ක වුනු කතාවක් නිසයි.රූපේගේ උග්‍ර දේශපාලන විරෝධිකම මෝඩකමක් විදියටයි රූපේගේ යාළුවා දැක්කේ.ඩයල් එක සැහෙන්ඩ දේශපාලේනේට බැහැලා ඉන්න එකෙක්.පොර ඇමැති කෙනෙක්ට බැහැලා වැඩ.ඉතින් ඌ කියන විදියට දේශපාලනය කියන්නේ මහ පූජනීය දෙයක්.එත් රූපේට නම් දේශපාලනය කියන්නේ අසුචි වලක්..බැහැපු එකෙක් ගැවිච්චි ගැවිච්චි තැන ගද ගහන ගූ ගොඩක්..

"සියල්ලට පෙර තමා" කියන ආදර්ශ පාඨෙට අනුව ජිවත් වෙන දේශපාලුවෝ විතරයි ලංකාවේ ඉන්නේ.දේශපාලනය දැන් හැමදේකට ම අත දාලා...මිනිස්සු කන්තෝරු වල වැඩ කරන රජයේ සේවකයන්ට බනිනවා වැඩක් කරගන්ඩ බෑ කියලා..ඒවායින් බොහෝමයකට හේතුව දේශපාලනය තමා..පාරක් හැදුවොත් ඒක මාස 2න් 3න් ඉවරයි.ඒ කො‍න්ත්‍රාත්තුව ගන්ඩ දේශපාලුවන්ට සලකන්ඩ වෙනවා.පගා දීලා,සේවකයින්ට පඩි ගෙවලා,තමන්ගේ දරු පවුලත් නඩත්තු කරලා අඩුම ගානකට ටෙන්ඩරේත් දාලා පාර හදන්ඩ ගියාම ඒ මිනිහාට ඒක හරියට හදන්ඩ වත්කමක් නෑ..ඉතින් ඌත් බාගෙට හදලා ශේප් වෙනවා...

ටීවී එක බැලුවොත් ආණ්ඩු පක්ෂෙන් මේවා කලා මේවා කලා කියලා කෑගහනවා...විපක්ෂෙන් ඒවා එහෙම කලේ ඇයි කියලා කෑගහනවා..බලේ තියෙන උන් දිගටම බලේ ඉන්ඩ හදනවා..බලේ නැති උන් කෙහොම හරි බලේ ගන්ඩ හදනවා..ඕක තමයි දේශපාලන චක්කරේ..අපි වගේ මැද පන්තියේ මිනිස්සු තියෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්නවා...

රූපේට දේශපාලනේ ගැන කිසිම දැනුමක් නෑ..ඒත් අර common sense වලට තේරේන දෙයක් තමා ඇමතිලා සැරින් සැරේ පිටරට ගිහින් සබදතා ශක්කිමත් කරගන්න එක..ගිහින් වාඩිවෙලා ඉංගිරිසියෙන් වචන ටිකක් කියලා අතට අත දෙන එක ෆෝටෝ ගැහුවම යාළුකම් අලුත් වෙනවාලු!! ඒක එහෙම නම් ඒ වැඩේට ම වෙනම කට්ටියක් පත් කරලා තිබ්බම ඉවරයි නේ?

ඊට හපන් අර මුල් ගල් තියෙන වැඩේ, මහ ලොකුවට උත්සව තියෙලා ගලක් බිම තියලා යනවා යන්ඩ...ඊට වඩා ඒවට යන සල්ලි වලින් තවත් හොදට ඒ වැඩේ කලා නම් හරි නේ? ප්‍රශ්නේ ඔවට දේශපාලනය ගැවෙන ඒකනේ? එතකොට ඕනේ කෑපී පෙනෙන්ඩයි සහ පෙනී සිටින්ඩයි! ඉතින් බදු සල්ලි නාස්ති කරලා Opening කරනවා...අනේ අනිච්චේ!!

රූපේ ගාවත් දැන් ගදේ බෑ! නාන්ඩ ම වෙනවා!!
දේශපාලනය ගැන කතා කලත් ගද ගහනවා!!!


Saturday, November 1, 2014

දැන් සතුටින් ඇති.....



අහලා අහලා අන්තිමට
නම අහගෙන ඇදේට
හිනා වෙලා ගියාම
ලැජ්ජා හිතෙන්ඩ ඇති....

ලියලා ලියලා හැමදාම
ලගම තියාගෙන හිටපු
‍පොතක් ඉල්ලපු දාක
නොදී ඉන්ඩ ඇති...

බැනලා බැනලා හැමදාම
ගස්ස ගෙන ගියපු  
දාක පෑව හිනාවකට
රවලා යන්ඩ ඇති....

බලලා බලලා දිගටම
පාඩම් කරගෙන ආපූ
වෙලාවක අහපු පැනයක්
තෝරලා දෙන්ඩ ඇති....

රැකලා රැකලා හිටියාට 
අසුරු සැනක් වුනු
මොහොතකට මල් හැගුමක්
හිතේ පිපෙන්ඩ ඇති...

පතලා පතලා පැතුවාට
වල් කෑළේක පිපුනු
ඒ පැතුම් මල
හුලගේ යන්ඩ ඇති....

වැටිලා වැටිලා රිදුනාට
හිතේ හයිය අරන්
දිගටම ගමන යන්ඩ
ආපහු නැගිටගන්ඩ ඇති....

කියලා කියලා උගන්නවපු
පින මතු පලදෙන්ඩ 
කවුරුන්හෝ ඔබේ නමින්
වලකින් ගොඩ යන්ඩ ඇති....

දුවලා දුවලා ආපුදාක
වයර් පටලෝගෙනම
චොකලට් වලින් පිරුණු
විසිඑක සමරන්ඩ ඇති....

තෝරලා තෝරලා අන්තිමට
විසදන්ඩ ආපු ප්‍රශ්නයකට
බය පිරුණු හිතකින්
ඇමතුමක් ගන්ඩ ඇති....

ඉදලා ඉදලා එකපාරට
කරදහි කොලයක ආපු
වචන ටිකක් හින්දා
හීන හැබෑවෙන්ඩ ඇති...

දුවලා දුවලා තෙහෙට්ටුවට
ඇවිදින බීපු වතුරකින්
ලැබු සවිය එක්ක
ඒ පිම්මේන් ගොඩයන්ඩ ඇති....

විදලා විදලා එල්ලෙකට
බඹා කෙටු කෙනාටම 
මේ පාර නම් 
මල්සරා විදින්ඩ ඇති....

පහුවුනු සසර පුරාවට
අත් අල්ලන් ආපු
සෙනෙහෙ හැගුමින්
හිත් බැදෙන්ඩ ඇති....

හොයලා හොයලා හෙව්වට
ලැ‍බෙන්නේ නැති වටින
මලක් ලගින් ඉන්ඩ
පින තියෙන්ඩ ඇති...

හිතලා හිතලා හොදටම
කල්පනා කරලා ගත්ත
පෙම් තිරණේ හින්දා
දැන් සතුටින් ඇති.....

කිසිදා දුකක් නොවනට
පෙමින් බැදුනු සිත්
අද හෙට නොව මතුවටත්
සතුටින් ඉදිනු ඇති....

Friday, October 31, 2014

ආ‍දරේ කියනා දේ....


සොවින් බර වු සුසුමකින්
කියනා දේ...
දිලිසෙන දෙනෙතකින්
පෙනෙනා දේ....
හැගුමින් පිරිණු හදවතකින්
ගලනා දේ....
තවම නොවැටහුණි මට 
ආ‍දරේ කියනා දේ....

Tuesday, October 28, 2014

Facebook ද? tsu ද?


Facebook වලට ගෙදර යන්ඩ වෙයිලු...අලුතින් ආපු tsu අපිට ගෙවනවලු.....





අපි දන්න Facebook


  • Facebook පටන් අරන් දැන් අවුරුදු 10ක්..
  • බිලියන 1.32 ක ඇක්ටිව් යුසර්ස්ලා ඉන්නවා..
  • එයින් මිලියන 829ක් හැමදාම Facebook එන අය...
  • එන කෙනෙක් Facebook වල ඉන්න සාමාන්‍ය කාලය විනාඩි 20ක්
  • Facebook එන අයගෙන් 42%යි පිරිමි
  • Smartphone වලින් Facebook එන අය දවසට 14 වතාවක් Facebook එනවා
  • චීනයේ 2009 ඉදන් Facebook තහනම්
  • Facebook යුසර් අකවුන්ට් වලින් 8.7% ම fake ඒවා...
  • හැම විනාඩියකටම සැරයක් මිලියන 1.8ක් Likeකරනවා

හැමෝම දන්න Facebook එකේ සාමාන්‍ය වගතුග ඔහොමයි...







උණු උණු tsū



අලුතින් ම ආපු රැල්ල තමා මේක...කලින් ආව Elloට වඩා මේක මිනිස්සු අතරට ගියා..ඒ ඉතින් වෙන මොකක්වත් නිසා නෙවෙයි සල්ලි නිසා...අපිට  tsū වලින් සල්ලි දෙනවා කිව්ව ගමන් කට්ටිය කුලප්පු වුනා...facebook වල හිටියාට අපිට සතයක්වත් ලැබෙන්නේ නෑ..කාලේ නාස්ති වෙන එක විතරයි වෙන්නේ...එහෙම එකේ සල්ලි දෙනවා කිව්වාම....රූපේ මුලින් මේ දැක්කම හිතුනේ මොකක් හරි ජෝගියක් වෙන්ඩ ඇති කියලා... Account එකක් එහෙම හදලා පොඩ්ඩක් වටපිට බලනකොට ඒක එපා වුනා...facebook එකෙත් හැම එකාම invitation දාගෙන දගලනවා... ‍සල්ලි දෙන්නේ අපිට ආදරේට නෙවෙයි..ඒකට එන ගාන වැඩි කරගන්ඩ... ආදායමෙන් 10%යිලු එයාලා ගන්නේ..ඉතිරිය අපිට දෙනවා කියලා තමා කතාව...බට් ඒක දෙන්නේ අර ජංජාල පිරමීඩ ක්‍රමේටලු... අපි එකතු කරගත්ත අය උපයන එකෙන් අපිටත් ගානක් තියෙනවා...ඒකත් වැඩවසම් ක්‍රමය වගේ තමා...

තාම කවුරුවත් මේකෙන් සල්ලි අරන් නෑ...අනික ඒක ගන්ඩ පුළුවන් වෙන්නේ $100ක් උනාමයි...රූපේ දැකපු විදියට friends ලා 150+ වැඩිය ඉන්න රූපේගේ යාළුවෙකුට සතියකට ම එකතු වෙලා තියෙන්නේ $0.01 යි... ඒ විදියට ගියොත් ඒ ගැන කතා කරලා වැඩක් නෑ...$100 එකතු කරගන්ඩ අවුරුදු 20ක් විතර යයි... දැනට ඉතින් මේක ගැන අපිට මුකුත් කියන්ඩ බෑ...මේක ඇත්තද බොරුද කියලා දැනගන්ඩ තව කල් යයි...ඒකපාරට මේක නැතිවෙන්ඩත් පුළුවන්..එහෙම නැත්තම් facebook වැහෙන්ඩත් පුළුවන්...එතකන් අපි ඉතින් හැමදාම වගේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉමු ආ‍යුබෝවන්ඩ.....


ප.ලි -  ‍මේක දැනුයි දැක්කේ.....facebook වල URL එකේ අන්තිමට 4 ඉලක්කම type කරාම කෙලින්ම යන්නේ Mark Zuckerberg ගේ Profile එකට  (https://www.facebook.com/4)   ට්‍රයි කරලා බලන්ඩ.....


Sunday, October 19, 2014

98න් අවුට් වුනා....


ඔක්තෝම්බර් මාසේ පටන් ගත්තේ ම නියම විදියට..දෙවැනි සතියේ මුලදීම අතාගේ සීයා නැති වුනා...හෙව්වට හම්බු වෙන්නේ නැති වෙන්ඩම නැති වුනා...සීයා 100ක් ගහයි කියලා හිතුවට 98 අවුට් වුනා....රෑ වෙච්චි සීන් එක හින්දා පහුවෙනිදා දවල් වෙලා රූපේ ඒ පැත්තේ ගියේ පොඩ්ඩක් ඔලුව දාලා ඔපිස් ගිහින් ම නයිට ගහන්ඩ එනවා කියලා හිතාගෙන...අතාල් එකේ යන ගමන් කල්පනා කර කර ගියේ නෙස්කැෆේ තිබුනොත් එල කියලා....

අපොයි!! මුකුත් වෙනසක් නෑ වගේ...කවුරුවත් පෙන්ඩ නෑ...සීන් එක හරියටම ෂුවර් නැති නිසා අතාට මැසේජ් එකක් දැම්මා එලියට වරෙන් කියලා....ටිකකින් මූ එනවා පිහි දෙකක් අරගෙන....
"අඩෝ වරෙන් පාර සුද්ද කරන්ඩ ඕනේ!!... 
අඩෝ මොකද වෙන්නේ බන්?? 
ඩයල් එක මලා බන්...උඹ අවේ හොද වෙලාවට...වැඩ කෝටියක් තියෙනවා..."

ඔන්න ඔහොම රූපේගේ මල ගෙදර ආතල් පටන් ගත්තා....හැම මලගෙදරකම වගේ තියෙන හැම අංගයක්ම අඩුපාඩු නැතිව තිබුනා....ඇයි වැස්ස? එකෙන්නම් කිසිම අඩුවක් තිබුනේ නෑ.... කොහොම හරී රෑ 10 විතර වෙනකොට නයිට ගහන සෙට් එක ඔක්කෝම ආවා.....පුරුදු විදියට සුප්පා ඕමි ගැහිල්ල පටන් ගත්තා....ඒ අස්සේ කාවහරී බයිට් කරන එකත් නියෙමට තිබුනා....

රෑ 12.30 විතර අතාගේ සීයා ආවා.....අතාගේ ගෙදරට වාහනයක් එන්ඩ බෑ...පාර ගාව ඉදන් මීටර් 20ක් විතර පඩි වලින් කන්දක් නැගලා තමයි යන්ඩ ඕනේ....ඉතින් පහල ඉදලා රූපේලාගේ සෙට් එක එක එක ආම්පන්න ගෙදරට අරන් ගියා....මතක විදියට රූපේ මුලින් ම ගිහින් තිබ්බේ අර ඇත් දල දෙක....Herse එක ආව වෙලාවේ ඉදලා පටන් ගත්ත පොදය වැඩි කරපු නිසා පෙට්ටිය Herse එක ඇතුලේ ම විනාඩි 45ක් විතර තිබ්බා....අන්තිමට අඩු කරපු වෙලාවේ කට්ටිය ගිහින් පෙට්ටිය උස්සන් කන්ද තරණය කරන්ඩ පටන් ගත්තා...සෑහෙන ගේමක් දීලා උඩට ගෙනත් ගෙදර ගාවට ගිහින් අතුලට යන්ඩ හදනකොට අතාගේ ලොකු තාත්තා අවා පට්ට කතාවක් කියාගෙන...


"stand එක ගෙන්ඩ අමතක වෙලා....  
අමතක වෙලා???? Herse එකේද?
නෑ නෑ ඒක මල් ශාලාවෙලු....!

 පනාගොඩගේ අ........

Saturday, October 4, 2014

මම මිනීමරුවෙක්.!!!!


ඔව් ඒක තමා ඇත්ත.
මම මිනීමරුවෙක්.
මම කාව හරි මරන්ඩයි යන්නේ.
එහෙම නැත්තම් මම දැනටමත් මරලා.
ඒක මම කලේ නැති වුනත් ඒක එහෙම වුනේ මම නිසා.
මට තිබුනා ඒක නවත්තාගන්ඩ.
එත් මම එහෙම නොකරපු හින්දා කවුරුහරි මැරෙන්ඩයි යන්නේ.
සමහරවිට ඒ මම වෙන්ඩ පුළුවන්.
එහෙම නැත්තම් ඒ ඔයා වෙන්ඩ පුළුවන්.
සරලව කිව්වොත් මගේ අතේ ලේ....
එක සුළු වැරදිමකට කොච්චර ලොකු විනාසයක් කරන්ඩ පුළුවන්ද??


එත් ඒක සම්පූර්නයෙන් ම වගේ මගේ වැරද්ද නොවෙන්ඩ පුළුවන්.
ඒක වුනේ මම හිතුවෙවත් නැතිවෙලාවක...
කොච්චර ඉක්මනට මම ප්‍රතිචාර දැක්වූවත් මම පරක්කු වුනා...
ඒ තත්පර බාගේ වෙනසට ඒ අවස්තාව මගේ අතින් ගිලිහුනා.
මම මුළු ලෝකයක්ම අනතුරේ දැම්මා.
දැන් ඉතින් ඒ ගැන හිතලා වැඩක් නෑ.
වෙන විනාසයෙන් ‍බේරෙන්ඩ හදන එක විතරයි කරන්ඩ පුළුවන්....
මට තියෙන්නේ තෝරාගැනීම් 2ක් විතරයි....

1.එක්කෝ මම Net එක දාගෙන නිදාගන්ඩ ඕනේ..
 2.නැත්තම් මම ඔක්කෝම මදුරුවෝ මරලා දාන්ඩ ඕනේ..

දෙවැනි එක වැඩක් වෙන්නේ නෑ වගේ.මොකද මේ දැන් මදුරුවෙක් මගෙන් බේරිලා ගියා...ඒ නිසා ඔබේ මිනීමරුවා මම වෙන්ඩ පුළුවන්.... 



Tuesday, September 30, 2014

ඔබත් පාාස් ද???


මෙන්න දැන් ලැබුනු විභාග ප්‍රතිඵලයක්....ලකුණු 160ක් ලූ....
අනේ අ‍පොයි! එත් මේ පොඩි එකා ෆේල් ලූ....පිස්සු හැදෙනවා ඒක ඇහුවම.....‍පේපර් 2ටම 80 ගානේ අරගෙනත් ඌ ෆේල්....පව් අප්පා....



රූපේ ලියන දවස් වල 137න් බැලුවේ...අවුරුදු 10ට 12ට ලකුණූ ගාන 25න් විතර වැඩිවෙලා....එත් ඉතින් උගන්වන එවායේයි අහන ඒවායේයි වැඩි වෙනසක් වෙලා නෑ....එහෙනම් ලමයි දක්ෂ වෙලා ද?

ශිෂ්‍යත්වෙට කියන්නේ අම්මලාගේ විභාගේ කියලා....ඒ තරමට දෙමව්පියෝ මේ විභාගේ ගැන උනන්දුයි..ගමේ ඉස්කෝලේ ඉදලා ලොකු ස්කෝලේකට යන්ඩ තියෙන හොදම චාන්ස් එක තමා ශිෂ්‍යත්වේ....ඉතින් පොඩි එවුන් ක්ලාස් යවනවා අම්බානකට....ඉස්කෝලේ ඇරිලා කෙලින් ම ක්ලාස් එකට....ක්ලාස් එකෙන් ගෙදරට.....ගෙදරින් ඉස්කෝලේට....ඕක තමා ඒ චක්කරේ....

රූපේට ශිෂ්‍යත්වේ එපා වුනේ 5 වසරේ ඉදලා....ස්කෝලේ උගන්වපු සර් ලමයින්ට ඉගැන්නුවේ ආමි එකේ ට්‍රේනින් වගේ.... ඒ අස්සේ සර් දෙමල පන්තියක් දැම්මා.....ඒකට එන්නේ නැති ලමයින්ට ලැබුනේ වේවැල් කසාය.....ඒක කට් කරලා රූපේ ගුටි කාලා ඇති ඕන පදම්.....

රූපේත් ශිෂ්‍යත්වෙට පන්ති ගියා....ඒ 4 වසරේ ඉදලා....බට් ඉතින් ඒකත් ඉස්කෝලේ වගේ....මොකද ඉස්කෝලේ ලමයි ඔක්කෝම වගේ ගියේ සමාධි එකට....ඒ කාලේ හිටපු හොදම සර් තමා බෝගහවත්ත සර්.... පලාතේම හිටපු උන් ගියේ ඒ සර් ගාවට....රූපේගේ ජිවිතේ හම්බුවෙච්චි හොදම ගුරුවරුන්ගෙන් එක්කෙනෙක් තමා බෝගහවත්ත සර්...

අනිත් සර්ලා clz වල ලමයින්ට පෑන් වලින් ලියන්ඩ දෙනකොට අ‍පේ සර් ලියන්ඩ කිව්වේ පැන්සලෙන්...පිටපත් ලීවීම පැන්සලෙන් ලස්සනට ලියනකොට තමයි පෑනෙන් ලියන්ඩ අවසර හම්බුවෙන්නේ....පෑනෙන් ලියනවා කියන්නේ හෙන ලොකු වැඩක්.....ළමයි සැහෙන්ඩ ගානක් අත් අකුරු ලස්සන කර ගත්තා ඒ හින්දා....

දවසක් රූපේ වාක්‍ය රචනයකට ලිව්වේ සත්තුන්ට වඩා මිනිසා උසස් කියන මාතෘකාවට....සර් ලිව්ව ඒක බලලා හිනා වෙලා එදා පාඩම අක්ෂර වින්‍යාසයට මාරු කරා....ඒ රූපේගේ වචන දැකලා.....රූපේගේ මාතෘකාව තිබුනේ,
                 "සතුන්ට වඩා මිනිසා උස්සස්"

Friday, September 26, 2014

කවුද වැටුනලූ.....



ලේ දන් දීම ගැන මොකද හිතන්නේ?? ඒක ලොකු පින්කමක් තමා..පුළුවන් හැටියට සහභාගී වෙන්ඩ ඕන පුන්‍යකර්මයක්.... සැප්තැම්බර් ම‍‍ාසේ රූපේලාගේ පන්සලේ ලේ දන් දීමේ පින්කමක් තිබුනා..අනේ ඉතින් Clz කට් කරගෙන රූපේ ගියේ අතාත් එක්ක... බර මැනලා දීපු ෆෝම් එකත් පුරවලා පෝලිමේ වාඩි වුනේ ඩොක්ටර් ගාවට යන්ඩයි. විනාඩි 15කට පස්සේ ලේ ගන්න බෑග් 4ක් එක්ක ගිහින් ඇදකට සෙට් වුනේ ඒ මහා පුන්‍යකර්මයටයි..ලස්සන මිසී කෙනෙක් ඇවිත් නම ගම අහලා ලේ ගන්ඩ පටන් ගත්තා... ලේ දෙන තුන්වෙනි පාර හින්දා රූපේ හිටියේ මාර කොන්ෆිඩන්ට් පිට...ඇයි ඉතින් ආයේ වෙන දේවල් ඔක්කෝම දන්නවනේ..විනාඩි 20ට විතර ලේ දීපු ගමන් ඇදෙන් නැගිට්ටේ ගිහින් මයිලෝ එකක් ගහන්ඩයි...රූපේට මතක විදියට අඩි 10ක් විතර ගියා...ඇස් දෙක නිලංකාර වෙලා යනවා අන්තිමට මතකයි....එකපාරට ඇස් දෙක අරින‍ කොට අතා එබීගෙන ඉන්නවා...ෂුවර් එකට හීනයක් වෙන්ඩ ඕනේ කියල‍ා ආපහු ඇස් දෙක පියා ගත්තා...එතකොට තමා සීන් එක මතක් වුනේ....ටක් ගලා නැගිටිනකොට මිසී කෙනෙක් ආපහු ඇදට දැම්මා ඔහොම ඉන්ඩ කියලා.....අපොයි විලි ලැජ්ජාවේ බෑ.....හැමෝම බය වෙලා වගේ බලන් ඉන්නවා....ටිකකින් නැගිටලා ගිහින් අතාගෙන් වෙච්චි සීන් එක ඇහුවම රූපේට පිස්සු වගේ.... කලන්තේ දාලා වැටෙන්ඩ ගියාලූ....එතකොට ලේ දීලා හිටපු අතා ඇවිත් අල්ලාගෙන ඇදට දැම්මාලූ....මයිලෝ එක ගහන ගමන් රූපේ කල්පනා කරේ මේ වෙච්චි ලැජ්ජාව ගැනයි.... ගෙදර ඇවිත් ගෙදර මිනිස්සුන්ට කිව්වට අද වෙනකම් ඒ අය ඒක විශ්වාස කරන්නේ නැත... 

එදා හවස අතාට කඩේ දී එකෙක් හම්බු වෙලා ඇහුවලු උඹලා ලේ දෙන්ඩ ගියා නේද කියලා....ඕව් කිව්ව ගමන් අරු හිනා වෙවි කිව්වලු අඩෝ එකෙක් වැටුනලු නේද කියලා....දන්නේ නෑ බන් අපි යන්ඩ කලින් වෙන්ඩ ඇති කියලා අරූ ආවලු....ඔන්න ඔය වගේ සමාජෙක තමා අපි ජිවත් වෙන්නේ...කවුරුහරි හොද වැඩක් කරන්ඩ ගියාම හිනාවෙන, ඒකට උදවු කරන්නේ නැතුව වැරදි හොයන උන් දැන් නම් ඕනතරම් ....කුණු වෙන්ඩ බීලා වැටෙන එක වීරකමක් වෙන, ලේ දීලා වැටෙන එක හින‍ා වෙන්ඩ කාරණාවක් වෙන මිනිස්සු තමයි දැන් ඉන්නේ.....එකත් ලේ දෙන එකෙක් කිව්ව නම් කමක් නෑ... සීන් එත අහපු ගමන් රූපේට ල පැන්නත් පස්සේ හිතුනේ උන්ගේ තියෙන මෝඩකම කියලා... කමක් නෑ..... ලබන පාරත් වැටෙන්ඩ හරි කියලා ලේ දෙනවා.....!!!.

Thursday, July 10, 2014

මේ ආදරේ.....

වෙලාවකට හීනයක් වගේ,
එත් ඔයා හැබෑවක්...
වෙලාවකට ඔයා ඈත තරුවක්,
එත් එලිය මට නෙවෙයි...
දුරින් දුරට ගහගෙන යන
හුලගක් වගේ උනත්
හිතින් කරන මේ ආදරේ,
නවත්තගන්න බැරි පිස්සුවක්...... 

Wednesday, July 9, 2014

ආදර චක්කරේ




එයා එනවා,
මට හරි සතුටුයි.....!

එයා හිනාවෙනවා,
මට හිනාවෙන්ඩ අමතක වෙනවා.....!

එයා බිම බලාගන්නවා,
හෑබෑම ලස්සනක්.....!

එයා ඇවිදගෙන යනවා,
ඒක නම් තාලයක්.....!

එයා කතා කරනවා,
මට වචන පැටලෙනවා.....!

එයා හිනාවෙනවා,
මාව ගල්වෙනවා.....!

එයා ඇවිදන් යනවා,
මට ආයේ හුස්ම වැටෙනවා.....!

එයා වාඩිවෙනවා,
ඒ පුටුව වාසනාවන්තයි.....!

එයා ලියනවා,
ඒ පෑන මම වුනානම්.....!

එයා බඩු අහුරනවා,
මගේ හිත කකියනවා.....!

එයා යන්ඩ යනවා,
මගේ පපුව රිදෙනවා.....!

ආපහු හැරිලා අතවනනවා,
මට ටිකක් හොදයි වගේ.....!

එයා ගියා,
හෙට උදේම එනව‍ා නේද......????